වැස්ස එක්ක ජීවිතේ...



කවියෝ කියන තරමට වැස්ස ලස්සන්න නෑ කියල අපිට තේරෙන්නේ හොද වැස්සකට අහු වුනාම... තෙමිලා තෙමිලා කන් පෙති සීතල වෙලා, ඔලුවේ ගාගෙන ඉන්න ජෙල්, වැක්ස් දිය වෙලා අස් වලට ගියාම අස් දෙකම දනවා.. ඒ අස්සේ වාහන වල සද්දේ ඇහෙන්නෙත් නෑ. මේ වෙලාවට කරන්න තියෙන හොදම දේ තමා කොහේ හරි ගිහින් වැස්ස නවතිනකල් ඉන්න එක.,
ඊයේ මං ගෙදර එනකොට හයියෙන් වහින්න ගත්තා. එක පාරටම. පාරේ හිටපු මිනිස්සු එහාට මෙහාට දුවලා එකපාරටම පාර පාළු වුනා. කව්රුවත් හොයන්නවත් නැති වුනා. හැමෝම කඩවල් වලයි, බස් හෝල්ට් වලයි. සල්ලි තියෙන සමහරු ත්‍රී වීල් අරං ගියා. තව සමහරු ලග තියෙන හෝටල් වල ඇතුලට ගියා. තවත් සමහරු වැස්ස දිහා හිස් බැල්මෙන් බලන් හිටියා.ඒ අතරේ පාසල් ගිය කොල්ලෝ ටිකක් පන කඩාගෙන දුවනවා තෙමි තෙමී... එයාලගේ වචන තුනක් මගේ කනට වැටුනා. "සීටීබී එක යයි...!" මේ ළමයි ටික දුවන්නේ ලංගම බස් එක අල්ලගන්න. සුදු පාට ඇදුම ඇඟටම ඇලිලා. ඒ මදිවට කකුල් වල ඉදන් බෙල්ලට එනකල් පිටිපස්සහා බතික් කරලා වගේ...
හැබැයි, ටික වෙලාවකින් වැස්ස නැවතුනා. ඊට පස්සේ කඩවල් වල හිටපු අයයි හෝල්ට් වල හිටපු අයයි ඔක්කොම,ආයේ පාරට බැහැල යන්න ගියා...
කොහොම වුනත්, මේ වැස්ස අපේ ජීවිතේට කොච්චර ලගයිද? චුට්ටක් හිතලා මොකක් හරි තේරෙනවා නම් කොමන්ට් එකක් දාන්න. මොකද මං කියන දේ තේරෙන්නේ පොඩ්ඩක් හරි වෙනස් විදියට හිතුවොත් විතරයි...