ප්‍රේමයේ ආධ්‍යාත්මය වෙනුවට අද හොයන්නේ ශරීරය-සන්නස්‌ගල
පන්ති කාමරයේදී දැඩි නීතිනීති අනුගමනය කරන ලංකාවේ විනය ගරුකම ගුරුවරයා මම.
............සන්නස්‌ගල
ප්‍රේමය නමැති මාතෘකාවට ඔබ මෙතරම් ඇලුම් කරන්නේ ඇයි?
අපේ රටේ ප්‍රේමය කියා දෙයක් නැති නිසා අද වෙද්aදී ටෙලි නාට්‍යවල,
චිත්‍රපටවල, නවකතාවල මෙන්ම සමාජයේ අප අත්දකින ප්‍රේම සම්බන්ධතා සැබෑම
ප්‍රේමය ද කියා පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මගේ නම් අදහස අද වන විට
ප්‍රේමය කියන දෙය විස්‌ථාපනය වෙලා ලිංගිකත්වය එතනට ඇවිල්ලා. එතකොට ප්‍රේමය
වශයෙන් කතා කරන හැම දේම සමාජගත වෙන්නේ ලිංගිකත්වයට සම්බන්ධ වෙලා. අද
කොල්ලෙක්, කෙල්ලෙක් දිහා බලන්නේ ලිංගිකත්වයෙන්. ඒ නිසා අද ප්‍රේමය ගැන
සාකච්ඡා කිරීම අවසානයේදී ලිංගිකත්වය පිළිබඳව සිදු කරන සාකච්ඡාවක් බවට
පත්වෙනවා.
මම පුංචි උදාහරණයක් කියන්නම්. එක සැරයක් මම "ලව් එකට
සිංහල" කියලා පුංචි බුක් මාර්ක් එකක් ගැහුවා. බොහෝ දෙනෙක් මේක පෙන්න
පෙන්න හැමතැනම මට බැන්නා. හේතුව තමයි මේ අය ලව් (ඛදඩැ) කියන දෙය තේරුම්
අරන් තියෙන්නේ ''සෙක්‌ස්'' විදිහට. ඒ කියන්නේ ඔවුන්ගේ ජීවිතයේ ලව් කියල
දෙයක් නැහැ. තියෙන්නේ සෙක්‌ස් විතරයි.
නමුත් මේ ප්‍රේමය තුළ
ලිංගිකත්වය කියන දෙය සදාකාලික දෙයක්. අද වගේම එදා පෙම්වතුනුත් හිතුවේ
එහෙමයි. නමුත් මේක අතීත කාමය පිළිබඳ සංවාදයක් නෙමෙයි.
අපි මෙහෙම
හිතමු. පනහේ දශකයේදී මහාචාර්ය සරච්චJද්‍රයන්ගේ මලවුන්ගේ අවුරුදු දා සමාජගත
වෙනවා. එතෙනදී නොරිකෝ සං දෙව්න්දරා සංගේ ගෙදර නැවතිලා ඉන්නවා. මේ අය කසාද
බැඳලා නැහැ. ඔවුන් චිත්‍රපට බලනවා. කබුකි නාට්‍ය බලන්න යනවා. මේ
අවස්‌ථාවලදී නොරිකෝගේ තාත්තා දෙව්න්දරා සංට ස්‌තුතිවන්ත වෙනවා එයාගේ දුවව
කබුකි නාට්‍යයක් බලන්න රැගෙන යැම පිළිබඳව. නොරිකෝගේ අයියා දෙව්න්දරාව
රැගෙන එන්න පෙරමඟට යනවා. ඒ මලගිය ඇත්තෝ
දැන් මේක වර්තමාන සමාජයට
දමල බැලුවොත්a කෙල්ලෙක් යනව කොල්ලෙක් එක්‌ක මහින්දාගමනය චිත්‍රපටය බලන්න.
නරක ගමනකුත් නෙමෙයි. චිත්‍රපටයත් නරක එකක් නෙමෙයි. මේක කෙල්ලගෙ තාත්තට
ආරංචි වුණොත් "බොහෝම පිංසිද්ධ වෙනවා පුතේ"Êකියල කියයිද? නංගිගේ යාළු කොල්ල
ගෙදර එනව කිව්වොත් අද අයියල කරන්නේ මඟදීම අරූගෙ කකුල් කඩනව. නැත්නම් හොම්බ
තලනවා. මේක තමයි යථාර්ථය. කරුණාසේන ජයලත්ගේ එක නවකතාවකවත් අරන් පෙන්නන්න
පුළුවන්නම් කෙල්ලෙකුට ලිංගිකත්වය ආරෝපණය කරපු එකක්‌වත් නැහැ. ඒක නිසා
ලිංගිකත්වය එදත් තිබුණ කියල කියන්න බැහැ. එදත් ලිංගිකත්වය සහ ප්‍රේමය
තිබුණා. නමුත් අද ප්‍රේමය ඇත්තේම නැහැ.
පෙම්වතෙක් ලෙස ඔබේ තරුණ විය දෙස හැරී බැලුවොත්, ඔබ මොනවගේ පෙම්වතෙක්‌ද?
තරුණ වියේදී කියූ දෙයට මා විරුද්ධයි. මා තවමත් තරුණයි. ඒ වගේම තවමත්
පෙම්වතෙක්. මගෙන් කවුරු හරි ඇහුවොත් පෙම්වතෙක් ලෙස පළමු වරට හැඟුම්
ප්‍රකාශ කළේ කොයි කාලෙද කියල මගේ අවංක පිළිතුර තමයි පහේ ශිෂ්‍යත්ව
පන්තියේදී කියන එක. ඒක ප්‍රේමයද, එහෙමත් නැත්නම් විරුද්ධ ලිංගිකයන් කෙරෙහි
තිබෙන ආකර්ෂණය ද කියල මට තේරුමක් තිබුණේ නැහැ. කොහොම වෙතත් මගේ හිතේ
ඒකපාර්ශ්වික කැමැත්තක් ඒ ළමයට තිබුණා. හැබැයි අදටත් එහෙම දෙයක් ඒ ගෑනු
ළමය දන්නෙ නැහැ. ඊට පස්‌සේ අවුරුදු දාසයේදී, විසිපහේදී තිහේදී තිබුණු
ප්‍රේම සම්බන්ධතාවල ස්‌වරූපයේ වෙනසක් තිබුණා. අද වෙත්දි තවත් වෙනස් වෙලා.
අනාගතයේදී වෙනස්‌ම විදිහක් වේවි. ප්‍රේමය කියන්නේ එක තැනක තියෙන නිර්මල
පාරිශුද්ධ අදහසක් නෙමෙයි.
එදා සහ අද පෙම්වතුන්ගේ ඔබ දකින වෙනස්‌කම් තිබෙනවාද?
ඔව්. උදාහරණ කීපයක් අරගෙන බලමුකෝ. අපේ අප්පච්චි අපේ අම්මට ආදරේ කරන කාලේ
දීල තියෙනව කිතුල් හකුරු බෑයක්. මොකද ඒ කාලේ අප්පච්චි කිතුල් කපල තියෙනවා.
ඒක තමයි ඔවුන්ගේ ප්‍රේමයේ සංකේතය. ගමේ මගේ අයිය කෙනකුට එයාගේ ගෑනු ළමය දීල
තිබුණ මට මතකයි කොට්‌ට උරයක්. ඒකෙ තිබුණ බෝකොළ වගේ දෙකක් මහල. ඒ මැදින්
ඊතල දෙකක් මහල. උරේ එක පැත්තක තිබුණ Good Morning කියලා. අනෙක් පැත්තෙ
තිබුණා Good Night කියලා. ඔය කාලෙම වගේ අපේ අක්‌ක කොල්ලෙකුට ලේන්සුවක් දීල
ලොකු ප්‍රශ්නයක් වුණා මට මතකයි. අපි ප්‍රේම කරන කාලේ චොක්‌ලට්, පොත් වගේ
දේවල් තමයි සංකේත විදියට හුවමාරු කරගත්තේ. අද අලුත්ම තත්ත්වය තමයි ගුවන්
ටිකට්‌පතක්, නැත්නම් හෝටලයක කාමරයක්, මේ තමයි ප්‍රේමයේ හුවමාරු භාණ්‌ඩ
ලෙස අලුතෙන්ම සොයාගෙන තියෙන්නේ.
ඒ කාලේ මේ පෙම්වතිය වගේ කෙනා
සොයන්න පොඩි සාහිත්‍ය පසුබිමකුත් තිබුණා. වත්සාන සිහිනයේ චාප වගේ අය
හෙව්වා. කරුණාසේන ජයලත්ගේ නවකතා කියවල තක්‍ෂිලාවේ ධම්මි වගේ අය හොයනවා.
ඊටත් එහාට ගියාම රුක්‌මණී වගේ අය හෙව්වා. මාලනී වගේ ගැමි මුහුණු තිබෙන
අයවත් හෙව්වා. ඒ කියන්නේ සාහිත්‍ය කලාව ප්‍රේමය සඳහා ඔවුන්ට යම් යම් ඉඟි
සපයා තිබුණා. ඒ වෙනුවට දැන් අපේ බහුතරයක් පෙම්වතුන්, හොයන්නේ ''පට්‌ට
කෑල්ලක්'' ස්‌ත්‍රිය තුළ තිබුණු ප්‍රේමය තුළ තිබුණු ආධ්‍යාත්මය නෙමෙයි
එතෙන තියෙන්නේ. මේ හොයන්නේ ශරීරය.
ඉදිරියට පෙම්වතුන්ගේ දිනයක් කියා දෙයක් එනවා. ඔබත් මේ වෙනුවෙන් බොහෝ සංකල්ප මැවූ කෙනෙක්. අද ඔබ මේ දිනය දකින්නේ කොහොමද?
පෙම්වතුන්ගේ දිනය ලංකා සමාජයේ පහළ පන්තියට ළංකරන්න පළමුවෙන්ම උත්සාහ කළේ
මම. ඒක මම පිළිගන්නවා. හැබැයි ලංකාවේ ඉහළ පන්තිවල අය කාලෙක ඉඳන් මේ
පෙම්වතුන්ගේ දිනය බොහොම ලස්‌සනට සැමරුවා. ඒ කාලේ මම මේ වෙනුවෙන් ''ආදරණීය
වත්සානය'' කියලා ප්‍රසංගයක් කළා. විහාරමහාදේවි එකේ ''රත්තරන් වැස්‌ස්
කියල කඳවුරක් කළා. මගේ අම්මේ ඒ කාලේ මේකට තිබුණු විරෝධය. නමුත් ලංකාවේ එකම
එක පත්තරකාරයෙක් (දිවයිනේ චද්‍රසිරි දොඩංගොඩ) මේක හරියට නිරීක්‍ෂණය කරලා
ලිපියක් ලිව්වා. එතන ඔය මිනිස්‌සු කියපු කිසිදෙයක් වුණේ නැහැ කියලා. මේ
හැම දෙයක් ගැනම වැරදියට බලල කෑගහල අපේ රටට අවශ්‍ය සෙනෙහස හා ආදරය ලැබුණද
කියල ප්‍රශ්නයකුත් මතුවෙනවා. මෙහේ නැත්තෙම ඒක.
සුළි සුළං එන
ජපානේ, සුනාමි එන ජපානේ, කාඩ්බෝඩ්වලින් ගෙවල් හදන ජපානේ, හිරෝෂිමා, නාගසාකී
වැනි විනාශයන් වුණු ජපානේ ෆුජියාමා ගිනිකන්ද කොයි වෙලාවේ පුපුරයිද කියල
දන්නේ නැති ජපානේ, මිනිස්‌සුන්ගේ හිත්වල පුපුරන්න තරම් ප්‍රේමය තියෙනවා. ඒක
හරි ලස්‌සනයි. නමුත් මෙච්චර ආරක්‍ෂා කරන්න හදන, මෙච්චර බණ කියන ලංකාවේ
ප්‍රේමය කියන සාධකයට මොනවද අද දකින්න ලැබෙන්නේ. කෙල්ලත් මරල කෙල්ලගෙ
නංගිවත් මරලා අම්ම තාත්තත් මරලා වත්තේ තියෙන කෙසෙල් ගස් දෙකකුත් කපල යන
තත්ත්වයක් තමයි අද තියෙන්නෙ. පරම්පරාවම ඉවරයි. මේකද ප්‍රේමය කියන්නේ. දැන්
කටුනායකින් ලංකාවට විදේශිකයෝ එද්දී මල්මාලා දාල ආයුබෝවන් කියල බොහෝම
ලස්‌සනට පිළිඅරගෙන තංගල්ලේදී මරල දානවා. මේකද ප්‍රේමයේ පාරාදීසය. මේක තමයි
ලෝකෙ වැඩියෙන්ම පන්සිල් ගන්න රට. පෝය දවස හොයන්නත් බැහැ වෙන දවසක්
හොයන්නත් බැහැ කොයි වෙලාවේ බැලුවත් රේඩියෝ එකේ බණ. නැත්නම් පිරිත්. නමුත්
වැඩියෙන්ම කාමයේ වරදවා හැසිරෙන්නේ මෙහේ. බොරුකීම සබ්ජෙට් එකක් වෙලා
තියෙන්නේ මෙහේ. වදාපු අම්ම පල්ල, බුදුහාමුදුරුවන් පල්ලා, දෙයියම්පල්ලා,
දරුවෝපල්ලා කියලා බොරු කියනවා. අසාධාරණය විනෝදයක් කරගෙන තියෙන රටක්. එහෙම
රටක ආදරය තියෙන්න විදිහක් නැහැ. පෙම්වතුන්ගේ දිනයට අපේ අය පහර ගැහුවේ
බටහිරින් ආපු දෙයක් කියලනේ. එහෙනම් තෝමස් අල්වා එඩිසන්ගේ බල්බ් පත්තු
කරන්නත් හොඳ නැහැ.
ගුරුවරයෙක් ලෙස සිසු සිසුවියන් තුළ හටගන්නා ප්‍රේමය ඔබ අනුමත කරනවද?
මම විටෙක බේබද්දෙක් . මොකද මට හිතුනම යාළුවොත් එක්‌ක මත්පැන් බොනවා. මම
රස්‌තියාදු ගහනවා. එතකොට රස්‌තියාදුකාරයෙක්, වෙලාවකට නවකතා කාරයෙක්, තවත්
වෙලාවකදී සංවාදකාරයෙක්. විචාරකයෙක්, ගෙදරදී දරුවන්ට පියා, බිරිඳට
ස්‌වාමිපුරුෂයා, උගන්නද්දී තමයි ගුරුවරයා. ලංකාවේ තියෙන වරද තමයි මේ හැම
දෙයක්‌ම ගුරුවරයත් සමඟ පටලවා ගැනීම.
පන්ති කාමරයේදී දැඩි නීතිනීති
අනුගමනය කරන ලංකාවේ විනය ගරුකම ගුරුවරයා මම. මගේ පන්තිවල කාටවත් සෙල්ලං
කරන්න බැහැ. පොලිස්‌කාරය පොලිසියේදී සැර වුණාට ගෙදරදී ඒ සැර නැහැ. මම
අනෙක් දේවල් පන්තියේදී කරනව නම් ඒක වැරදියි. නමුත් මම පන්තියේදී
ගුරුවරයෙක් පමණයි. මම පන්ති එන්නේ ලස්‌සනට දිග කලිසමක් ඇඳල. නමුත් මම
රස්‌තියාදු ගහන්නෙ ෂෝට් එකක් ඇඳල. ඒ නිසා මේව පටලවා ගැනීම වැරදියි.
නමුත් ඉගෙන ගන්න ළමයින්ව ප්‍රේමයට පොළඹවනවාය කියන චෝදනාව ඔබට තියෙනවා
අද හැදෙන තරුණ පරම්පරාවට ආදරය කරන්න උගන්වන්න පුළුවන් නම් ගොඩක් හොඳයි.
නමුත් පන්තියේ පෝළිමවත් හදාගන්න බැරුවයි මම ඉන්නේ. මේ සමාජයේ ඉඳල එන එවුන්ට
උගන්වනවා ඇරෙන්න වෙන දෙයක් කරන්න මට බැහැ.
ඔබත් අධ්‍යාපනය ලබන වයසේ දරුවන් ඉන්න තාත්තා කෙනෙක්. ඔබේ දරුවෙක් ප්‍රේමවන්තයෙක් වුණොත් ඔබ ගන්නා තීරණය කුමක් වෙයිද?
මම මේ ළඟදී පොඩි එකාගෙන් ඇහුවා පුතේ කෙල්ලෙක් එහෙම ඉන්නවද කියලා. නැහැ
කිව්වා. ලොකු පුතාගෙනුත් ඇහුවාම එයා කිව්වෙත් නැහැ කියලා. ඊට පස්‌සෙ මම
ඇහුවා යකෝ මෙච්චර කල් මොනව කරනවද කියලා. මට නම් කිසි ප්‍රශ්නයක් නැහැ.
එහෙම තියෙනවා නම් කොච්චර සුන්දරද?
ඔබ මේ කරන කියන හැම දේකම අවසාන බලාපොරොත්තුව ඔබට මේ සමාජයේ හොඳ මාකට් එකක් හදා ගැනීම සඳහායි කිව්වොත්?
පත්තර හෝ වේවා වෙනත් මාධ්‍යයකින් හෝ වේවා කවුරුවත් ඇවිල්ල මට ආදරේට
සන්නස්‌ගලට සපෝට් එකකට මාව ඉන්ටවිව් කරන්නේ නැහැනේ. ඔය එන්නේ තම තමන්ගේ
මාකට් එක හදාගන්න. ඒ නිසා මට අලුතෙන් මාකට් වෙන්න ඕන නැහැ.
සන්නස්‌ගල කියන්නේ සාර්ථක ව්‍යාපාරිකයෙක් ද හොඳ ගුරුවරයෙක්‌ද?
මම තමයි ලංකාවේ අසාර්ථකම ගුරුවරයාගේ සංකේතය. පසුගිය කාලෙ ඩික්‌සනරියක්
ගහල ලක්‍ෂ පන්සීයක් නැතිකර ගත්තා. චිත්‍රපට තුනක් කළා. තුනම අසාර්ථකයි.
මට වඩා හොඳ නවකතාකාරයෝ ලංකාවේ අවම වශයෙන් දහදෙනෙක්‌වත් ඉන්නවා. මට වඩා හොඳ
ගීත රචකයෝ අවම වශයෙන් පහළොවක්‌වත් ඉන්නවා. මට වඩා හොඳ ව්‍යාපාරිකයෝ ලංකාවේ
ලක්‍ෂ ගාණක් ඉන්නවා. හැබැයි මට වඩා හොඳ ගුරුවරයෙක් මේ ලංකාවේ කොහෙවත්
නැහැ.
සමාජය ඔබව නොයෙකුත් විදිහට හඳුනාගෙන තිබෙනවා. නමුත් ඔබ හඳුනාගෙන සිටින ඔබ කවුද?
මට ඒකට උත්තරයක් නැහැ. මොකද මගේ ජීවිතේ කවදාවත් ටාගට් එකක් තිබිල නැහැ.
මම මේ හැම තැනකම සැරිසරන චරිතයක්. මෙහෙම ඉඳලා කවද හරි යන්නම යයි. අන්න
එදාට කවුරුහරි මාව හඳුනගත් කෙනෙක් මා ගැන කියයි.
ඔබ තුළ සිටි සිනමා වේදියා පලාගිහින්ද?
පළවැනි චිත්‍රපටය කරල ආර්ථික අතින් වැටෙනවා. දෙවැනි එක කරල ආයෙත් වැටුණා.
තුන්වැනි එකත් කරල හොම්බෙන්ම ගියා. මෙහෙම නැති කරන්න මා ළඟ රේස්‌බුකි
සල්ලිවත්, පිරමීඩ් සල්ලිවත් නැහැනේ. උගුර ලේ රහ වෙනකම් කෑගහල තමයි මේවා
හොයන්නේ. දැන් චිත්‍රපටි නොකර ඉන්නේ සල්ලි නැති නිසා.
මේ සියලු දේ අවසානයේ ඔබේ බලාපොරොත්තුව මොකක්‌ද?
මුකුත් නැහැ. මේ හැම දේම මගේ සතුට වෙනුවෙන්.
උපුටා ගැනීම,
දිවයින පුවත්පත